Friday, 26 April 2024

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග පැවැත්වීම පිළිබඳ මාධ්‍ය නිවේදනය

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ සහ මානව ශාස්ත්‍ර පීඨයේ ශාස්ත්‍රවේදී (විශේෂ) සහ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාවන්ට නියමිත අවසන් වසර විභාග 2021 පෙබරවාරී 01 වැනිදා උදෑසන සිට පැවැත්වීමට තීරණය කර ඇත.

එබැවින් ඉහත දැක් වූ උපාධි පාඨමාලාවලට අයත් අවසන් වසරවල සිසුන්ට 2021 ජනවාරි මස 31 වැනිදා උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා නේවාසිකාගාරවලට ඇතුළත් වීමට අවසර ලබා දී තිබේ.
මෙම විභාග කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද කොවිඩ් 19 මර්දන නිර්ණායකවලට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශවලට අනුගතව සිදු කෙරේ. ඒ අනුව විභාග කටයුතු පැවැත්වෙන කාලය තුළ විද්‍යාර්ථීන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දෙයි.


සිසුන් නේවාසිකාගාරවලට ඇතුල්වීමේ දී සහ ඒවායින් පිටවීමේ දී, විභාග කටයුතුවලට සහභාගී වීමේ දී සහ අදාළ කාලය තුළ විශ්වවිද්‍යාල භූමියේ කටයුතු කිරීමේ දී ඔවුන්  අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිබඳ දැනටමත් විභාග අපේක්‍ෂක සියලු සිසුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම විභාග කටයුතු පැවැත්වෙන කාලය තුළ කිසිදු අපහසුතාවයකින් හා අවධානමකින් තොරව සිසුන්ගේ අධ්‍යයන අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව කිසිදු පීඩනයකින් තොරව සිසුන්ට සිය විභාග කටයුතුවල නියැළීමට අවශ්‍ය කායික මානසික නිදහස තහවුරු වන පරිදි සකස් කෙරුණ වැඩපිළිවෙළක් දැනටමත් ඉදිරිපත් කර තිබේ.
නමුත් මෙම විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින්  විසින් නොයෙක් අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා, විවේචන එල්ල කරමින් විභාග අපේක්‍ෂක සිසුන්ගේ මනස විකෘති කිරීමට ද ඔවුන් ඇතුඵ ඔවුන්ගේ පවුල්වල පිරිස් නොමඟ යැවීමට ද කටයුතු කරනු ලබන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව විවිධ පුද්ගලයින් නොයෙක් අසත්‍ය තොරතුරු සහ අභූත චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවමින් සිටියි. මොවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ පැවැත්වීමට නියමිත විභාගය අසාර්ථ කර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර ඔවුන්ගේ අනාගතය අඳුරේ හෙළීමයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකය ම භයානයක ව්‍යාසනයකට ලක්ව ඇති මේ මොහොතේ මෙම තත්ත්වය ඇතැම් පුද්ගලයින් සිය දේශපාලන වුවමනා වෙනුවෙන් භාවිත කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව අප කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වෙත දැනුම් දෙමු. එමෙන් මේ මොහොතේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් විභාග පවත්වමින් ඔබගේ අනාගත සුබ සිද්ධිය උදෙසා ගෙනයන වැඩපිළිවෙළට ඔබගේ සහයෝගය සහ දායකත්වය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිමු.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ඇතුඵ අධ්‍යයන, අනධ්‍යයන කාර්යය මණ්ඩල මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ හැකි ඉහළම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිසුන්ගේ ආරක්ෂාව ද තහවුරු කර විභාග කටයුතු පවත්වා සිසුන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමටයි. එමෙන් ම සිසුන්ගේ අනාගතය විනාශ වී යා නොදී ඔවුන්ගේ ජීවිතය උසස් මට්ටමකකට ගෙන ඒමටයි. මෙම විභාග පැවැත්වීම පසුපස සිසුන්ගේ අනාගතය අභිවෘද්ධිය තහවුරු කිරීම මිස අන් කිසිදු පටු න්‍යාය පත්‍රයක් කැලණිය විශ්වවිද්‍යාලයට නොමැති බව ද මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි.
එහෙයින් විභාග පැවැත්වෙන නියමිත කාලය තුළ ඔබේ දරුවන් කැලණිය විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඔවුන්ගේ විභාග කටයුතු සාර්ථක කර ගැනීමට දායක වන මෙන් අප සියලු සිසුන්ගේ දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම මෙම විභාග කාර්යය අදියර කිහිපයකින් පැවැත්වීමට සැලැසුම් කර ඇත.  මෙහිදී අදාළ ශිෂ්‍ය කණ්ඩායම් පමණක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට සහ නේවාසිකාගාරවලට ඇතුල් වීමට වගබලා ගත යුතු බව ද දන්වමු.
එමෙන්ම මේ කාලය තුළ විශ්වවිද්‍යාලයේ විවිධ ආයතන මගින් නිකුත් කෙරෙන නිල නිවේදන සඳහා පමණක් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව දන්වමි. එමෙන්ම සමාජ මාධ්‍ය මගින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සහ කටකතා විශ්වාස නොකරන ලෙස ද ඉල්ලා සිටිමු.

Examination Time Table

විභාග පැවැත්වෙන කාලසීමාවේදී විද්‍යාර්ථීන් විසින් පිළිපැදිය යුතු කරුණු

Guideline 01

Guideline 02

 

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!